Thursday, November 7, 2013

තංගල්ල බාලිකා විද්‍යාලය ඉවත්කර එම ස්ථානයේ සුඛෝපභෝගී හොටල් සංකීර්ණයක් ඉදි කිරීමට යයි...


1972 ස්ථාපිත දැනට අවුරුදු 41කට වඩා පැරණි ඉතිහාසයක් ඇති තංගල්ල බාලිකා විද්‍යාලය දැනට තිබෙන ස්ථානයෙන් ඉවත් කොට තංගල්ල නගරයෙන් පිටත තරමක් දුර බැහැර දුෂ්කර ස්ථානයක් කරා රැගෙන යාමේ සැලැස්මක් ක‍්‍රියාත්මක වෙමින් පවතී. තංගල්ල කදුරුපොකුණ ප‍්‍රදේශයේ පින්වත්ත නම් ස්ථානය කරා පාසල රැගෙන යාමට මේ වන විට පිඹුරුපත් සකස් වෙමින් පවතී.

දැනට පාසැල තිබෙන ස්ථානය බාලිකා විදුහලක් සඳහා ඉතාම උචිත ආරක්‍ෂාකාරී ස්ථානයක් වන අතර එම ස්ථානයේ අධි සුඛෝපභෝගී සංචාරක හෝටලයක් ඉදි කිරීම සඳහා පාසැල් ඉඩම අත්පත් කරගැනීමේ අරමුණින් කෙසේ හෝ පාසැල හැකි ඉක්මණින් ඉවත් කර ගැනීමේ ක‍්‍රියාදාමයක් සිදු වෙමින් පවතී. 2004 සුනාමි ව්‍යවසනයෙන් පවා කිසිදු බලපෑමක් නොවූ මෙම පාසැල් භූමිය මුහුදු මට්ටමින් ඉතා උස් ස්ථානයක පිහිටා තිබීමත් මුහුද ආසන්නයේ චමත්කාර ජනක පරිසරයක පිහිටා තිබීමත් හේතුවෙන් බලධාරීන්ගේ උකුසු ඇස් මෙම පාසැල් භූමිය වෙත යොමු වී ඇත.

ශිෂ්‍යාවන් 3000කට ආසන්න ප‍්‍රමාණයක් දැනට ඉගෙනුම ලබන මෙම තංගල්ල බාලිකා විද්‍යාලය කුමණ විරෝධතා මතු වුවද එම ස්ථානයෙන් ඉවත් කිරීමේ උත්සාහයක බලධාරීන් නිරත වෙමින් පවතී.

තංගල්ල රෝහල, තංගල්ල පොලිස් ස්ථානය, තංගල්ල බන්ධනාගාරය, රුහුණ නාවික හමුදා කඳවුර හා තංගල්ල මහ තැපැල් කාර්යාලය ඉතාම ආසන්නයේ පිහිටා ඇති මෙම පාසැල, දැනට තිබෙන ස්ථානය පැසැල් ශිෂාවන්ට ඉතාම ආරක්‍ෂාකාරී වටපිටාවකින් යුක්තය. විශේෂයෙන්ම එම පාසැල් කලාපයට කිසිදු බාහිර පුද්ගලයෙක් පවා ඇතුල් වීමට නොහැකි ශිෂාවන් ගේ ආරක්‍ෂාව උපරිමයෙන් සැලසෙන මෙම පාසැල් භූමිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට අර අදිනු ලබන්නේ හුදෙක්ම ආර්ථික වාසි ලබා ගැනීමේ ඒකායන අරමුණකින් බව පැහැදිලි කරුණකි.

2011 වර්ෂයේදී මෙම පාසැල දැනට තිබෙන ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා පාසැල් සංවර්ධන සමිතියේ හා දෙමව්පියන්ගේ කැමැත්ත ලබා ගැනීමේ අරමුණින් පාසැල් සංවර්ධන සමිතිය කැඳවා රැස්වීමක් පැවැත්වූ බලධාරීන් ප‍්‍රකාශ කර සිටියේ විද්‍යාලය තංගල්ල නගර සීමාව තුළ වෙනත් ස්ථානයක ස්ථාපනය කරන බවයි. එහිදී ඔවුන් විකල්ප ස්ථාන ලෙස තංගල්ල බෙලිඅත්ත පාරේ ලංගම ඩිපෝව තිබෙන භූමිය හෝ මහවෙල පාරේ  මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) පිහිටා තිබෙන ඉඩම් දෙකෙන් එකකට පාසැල රැගෙන යන බවට දෙමව්පියන් රවටා පාසැල් සංවර්ධන කමිටුවේ කැමැත්ත ලබාගෙන පසුව හිටි හැටියේ කිසිදු දැනුවත් කිරීමකින් තොරව නගරයෙන් බැහැර ස්ථානයක් වන කදුරුපොකුණ පින්වත්ත ප‍්‍රදේශයට පාසැල රැගෙන යාමට රහසිගතව සැලසුම් කර, පාසැල ඉදි කිරීම සඳහා මුල් ගල් තැබීමට සතියක් පමණ ආසන්න වනතෙක් සිට එක වරම විදුහලේ ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍යාවන් හා දෙමව්පියන් දැනුවත් කිරීමට වගබලා ගන්නා ලදී. තවද මෙම ක‍්‍රියාවලිය කිසිදු මාධ්‍ය ආයතනයකට දැනගන්නට තිබෙන අවකාශ පවා මේ වන විට අහුරා ඇති බවක් දැන ගන්නට ලැබී තිබේ. ඉතාමත් උපායශීලී අන්දමින් පැසැල ඉවත් කිරීමේ කර්තව්‍යය මේ වන විට සිදු වෙමින් පවතී.

තංගල්ල වෙළෙඳ ප‍්‍රජාව මෙම පාසැල තංගල්ල නගරයෙන් ඉවතට ගැනීමේ උත්සාහයට බලවත් විරෝධයකින් පසුවන අතර බහුතරයක් දෙමව්පියන් ශිෂාවන් හා පාසැල් බලධාරීන්ද මෙසේ පාසැල නගරයෙන් පිටතට ගෙන යාමේ උත්සාහයට දැඩි විරෝධයකින් පසුවන බව දැන ගන්නට ලැබී ඇත. දෙමව්පියන් පවසන අන්දමට මෙම ස්ථානයේ සංචාරක හෝටලයක් ඉදි කිරීමට බලධාරීන්ට අවශ්‍ය නම් පාසැල සඳහා උචිත ආරාක්‍ෂාකාරී නගරාසන්න ස්ථානයකට පාසැල රැගෙන යාමට හැකියාව පවතින අතර ඒ සඳහා භූමිය ලබා ගැනීමට යමි මුදලක් වැය වන බැවින් එය මග හරවා ගැනීමට කදුරුපොකුණ පන්සලට අයත් භූමියකට පාසැල රැගෙන යාමට අර අදිනු ලබන්නේ ස්වාමීන්වහන්සේ එම පන්සන් භූමිය නොමිලයේ හෝ ඉතා අඩු මුදලකට බලධාරීන්ට ලබා දීමට එකඟ වී ඇති නිසාවෙනි.

තවද විද්‍යාලය පන්සල් භූමියේ ස්ථාපනය කිරීමෙන් පසු විද්‍යාලයේ නම වෙනස් කොට එම විහාරස්ථානයේ වැඩසිට අපවත් වී වදාල නායක ස්වාමීන් වහන්සේගේ නමින් පාසැල නම් කරන ලෙසටද වර්තමාන නායක ස්වාමීන් වහන්සේ දැඩි ඉල්ලීමක් කර ඇති අතර, අධ්‍යාපන බලාරීන් එයට අනුකූලතාවයක් දක්වා නැත. යම් හෙයකින් එසේ නම වෙනස් කරනු ලැබුවහොත් පාසැල නමින් දැනට ක‍්‍රියාත්මක වන ආදි ශිෂ්‍යා සංගම් වලට එය නෛතික ආකාරයෙන් බලපෑමක් සිදු වන අතර තංගල්ල බාලිකා විද්‍යාලය යන නාමය සදහටම නැති වී ගොස් ඒ වෙනුවට වෙනත් පාසැලක් ස්ථාපිත වීමක් වැනි දෙයක් සිදු වීමට ඉඩ ඇත. මේ පිළිබඳ අදහස් දක්වන තංගල්ල නගර වාසීන් පවසනු ලබන්නේ තවදුරටත් හ/තංගල්ල බාලිකා විද්‍යාලයක් නැති වන බවත් ඒ වෙනුවට කදුරුපොකුණ බාලිකා විද්‍යාලයක් ඇති වන බවත්ය.
 
දැනට ශිෂ්‍යාවන් 3000කට පමණ ආසන්න ප‍්‍රමාණයක් ඉගෙනුම ලබන තංගල්ල බාලිකා විද්‍යාලය ඉතිහාසයේ එතෙක් මෙතෙක් යහපත් ගුණ ගරුක කාන්තාවන් සමාජයට දායාද කිරීමේ මහත් කර්තව්‍යයකට උර දී සිටියි. මෙම විද්‍යාලයෙන් ඉගෙනුම ලබා සමාජයේ ඉහල තනතුරු හොබවන මෙන්ම යහපත් පුරවැසියන් සේ සමාජයට ඉමහත් සේවාවක් ඉටු කරනු ලබන ආදි ශිෂාවන් විශාල ප‍්‍රමාණයක් බිහිකර ඇති තංගලූ බාලිකා විදුහල් මාතාව රැක ගැනීමට ඉදිරියට ඒමට එක්රොක් වීමට කාලය එළඹ ඇත. ඒ සඳහා මෙම විදාලයෙන් ඉගෙනුම ලැබූ ආදී ශිෂ්‍යාවන්, දෙමව්පියන් හා නගර වාසීන්ට ඉමහත් වගකීමක් ඇත.

තංගල්ල බාලිකා විද්‍යාලය සුරකිමු..!